Recent comments

අලුත්ම ලිපි 🡲

English #01 පාඩම- හැඳින්වීම

අන්තර්ජාලයේ බොහෝ තැන්වල මම නිතරම දකිනවා බොහෝ දෙනෙක් ඉංග්‍රීසි ඉගෙනගැනීම සඳහා ලින්ක් එකක් ලබා දෙන්න කියලා ඉල්ලීම් කෙරෙනවා. ඉතින් මම හිතුවා ඉංග්‍රීසි භාෂාවේ මූලික වාක්‍යරටා පිළිබඳවත් ලිපි කීපයක් කිනිත්ත හරහා ඔබ වෙත ඉදිරිපත් කරන්න.

ඉතින්, පටන් ගන්න කලින්ම මේ ගැනත් කියන්නම ඕන. ඇතැම්විට කෙනෙක් මට බනින්න ඉඩ තියෙනවා “සිංහලෙන් ඉංග්‍රීසි උගන්වන්නේ කොහොමද! ඒක මොන මෝඩ වැඩක්ද!“ කියලා. ඒක ඇත්ත. භාෂාවක් භාවිතයෙන් මිස විස්තර කියවීමෙන් ඉගෙන ගන්න බැහැ. නමුත් ඕනෑම දැනුමක් තමන්ගේ මව් භාෂාවෙන් ලබනවානම්, ඒ දැනුම අපි ඉක්මණින් ග්‍රහණය කරගන්නවා.  එය ඉංග්‍රීසි භාෂාවටත් එහෙමමය යන විශ්වාසයෙන් පුංචි ලිපි කීපයක් ඔබට ලියනවා. විවේචන, චෝදනා සහ ඔබේ අදහස් වලට මම හැමදාමත් ගරු කරනවා. 


මේ දරන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට ආසාවෙන් ඉන්න, එහෙත් මේ දක්වා හරි ආරම්භයක් නැතිව ලතැවෙන, පටන් ගන්න තැනක් හොයමින් ඉන්න, පන්තියකට ගියත් හරියට මූලික කරුණු ග්‍රහණය කරගන්න අපහසු වුණු, පන්ති යාම එපා වුණු හෝ අසරණ වුණු අයට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සඳහා පුංචි තල්ලුවක් දීමේ උනන්දුවක් ඇති කිරීමේ අහිංසක උත්සාහයක් පමණයි. හොඳින්ම ඉංග්‍රීසි දන්නා අයට මේ ලිපි පෙළ මගහැර යාහැකියි.


හොඳයි..

මේ ලිපියෙන් මම පුංචි හැඳින්වීමක් කරන්නම්.



ඉංග්‍රීසි ඉගෙනගන්නකොට පහසුව සඳහා අපි කොටස් දෙකකට බෙදාගන්නවා. මේ තමයි ඒ කොටස් දෙක.

01. කර්තෘකාරකය (Active Voice)
මේකෙදි අපි කාල 12ක් ගැන කතා කරනවා. කාල දොලහක් කිව්වට ඒ දොලහෙම වාක්‍ය අපි ලියන්නෙ කතා කරන්නෙ එකම විදියට, එකම රටාවකට.  ඒ නිසා අමාරු නැහැ. ඔයා Active Voice විතරක් හරියට දැනගත්තත් ඒ හොඳටම ඇති කතා කරන්න.

02. කර්මකාරකය (Passive Voice)
මේකෙ තියෙන්නෙ කාල 8යි. අටක් වුණාට අටේම වාක්‍ය අපි ලියන්නෙ කතාකරන්නෙ එකම විදියකට, එකම රටාවකට.

කතාකරන්න Passsive Voice දැනගෙන ඉන්න එක අනිවාර්ය නෑ. හැබැයි ඉතින් ලියනකොට ලස්සනට වැඩ දාලා ලියන්න පුලුවනි දැනගත්තම. ඒ නිසා අපි ඒගැනත් ඉගෙනගනිමු. Active Voice අවසානයේදී, තව ටික කාලෙකින්. එතකල් ඒක අමතක කරල දාන්නකො. එහෙම දෙයකුත් තියෙන බව මතක තියාගන්න. ඒ ඇති.

ඉතින් අපි මුලින්ම කතා කරන්නෙ කර්තෘකාරකය ගැන...ඒ කිව්වෙ Active Voice. මේ පළවෙනි කොටසෙදි මම ඔයාට Active Voice කෙටියෙන් හඳුන්වල දෙන්නම්කො හොඳද.....

කලින් මම කිව්වනෙ කාල දොලහක් තියෙනව කියලා. ඒව අමුතු දේවල් නෙමෙයි. අපි සාමාන්‍යෙයන්; කරන දේවල්, කරපු දේවල්, කරන්න ඉන්න දේවල්, කරමින් ඉන්න දේවල්, කරමින් හිටිය දේවල්, කරමින් ඉන්න හිතාගෙන ඉන්න දේවල්, දැනටමත් කරල තියෙන දේවල්, දැනටමත් කරල ඉවර කරල තියෙන දේවල්. ඔන්න ඔය වගේ දේවල් කියන හැටි තමයි මේ කාල. දැන් ඉතින් ඔලුව සම්බෝල කරගන්නෙපා. එකින් එක ඉගෙනගමු. ඊට පස්සෙ ඔයාට ඔයා කරන, කරපු, කරන්න ඉන්න හැමදෙයක්ම කියන්න පුලුවන්.


සිංහල භාෂාවෙදි අපි කර්තෘ කාරකයෙදි භාවිතා කරන රටාව තමයි කර්තෘ+කර්මය+ක්‍රියාව කියන පිළිවෙල. උදාහරණයක් ගත්තොත්, “මම ගෙදර යමි“.


මම කිව්වනෙ කර්තෘකාරකයෙ (Active Voice) හැම කාලයකටම තියෙන්න එකම වාක්‍ය රටාවක් කියලා. මේ පහළින් තියෙන්නෙ අන්න ඒ වාක්‍ය රටාව. බලන්න සිංහලෙන් අපිට පුරුදු වාක්‍ය රටාවෙන් ඉංග්‍රීසි භාෂාවෙ වාක්‍ය රටාවට එනකොට බොහොම පුංචි වෙනසක් විතරයි වෙලා තියෙන්නෙ. ඒ කර්මය මැදට නෑවිත් අගට යාම.
කර්තෘ + ක්‍රියාව + කර්මය

  1. කර්තෘ (Subject) - මේ තමයි ක්‍රියාව කරන කෙනා/වස්තුව
  2. ක්‍රියාව (Verb) - මේ තමයි කරන ක්‍රියාව (කිරීමක්/වීමක්/සිදුවීමක්)
  3. කර්මය (Object) - කර්තෘ කරන ක්‍රියාවට යටත් වෙන පදය

මෙතන ඉන්න කර්තෘගෙනුයි කර්මයෙනුයි අපිට ප්‍රශ්නයක් නැහැ. කාල දොලහටම ඒ පද දෙක එකම විදියයි. එක් එක් කාලයේදී වෙනස්වෙන්නෙ ක්‍රියාව විතරයිඉතින් අපි මේ කාල දොලහෙදි ඉගෙනගන්නෙ ඔය ක්‍රියාපදය වෙනස්වෙන හැටියි.

ඊළඟ පාඩමට යන්න කලින් මම තව පුංචි දෙයක් කියාදෙන්න ඕන.

හැම ක්‍රියාපදයකම තියෙනවා මූලික අවස්ථාවක් (Stem). සිංහලෙන් කිව්වොත් ඔය “නවා“ කියන අකුරු දෙකෙන් ඉවර වෙන ක්‍රියාපද තමයි මේ Stem එකට ඇතුළත් වෙන්නෙ.

Go - යනවා
Come - එනවා
Write - ලියනවා

මේ මූලික අවස්ථාව තමයි අපි එක් එක් කාලයට ගැලපෙන්න හදාගන්නෙ. නිකං දැනගන්න කිව්වෙ.

දැන් ඔයා මූලික දේවල් ටික දන්නවා.ඊළඟ පාඩමෙන් අපි Simple Present Tense (සරල වර්තමාන කාලය) ගැන ඉගෙනගමු.

No comments