Recent comments

අලුත්ම ලිපි 🡲

Leak! කර නොගෙන හරියට delete කරන්නෙ මෙහෙමයි


සාමාන්‍යයෙන් ඔබට නැවත අවශ්‍ය නොවන ෆයිල් එකක්, එහෙමත් නැත්නම් වෙනත් කිසිවෙකු විසින් දැනගත යුතු නැති තමන්ගේ පුද්ගලික දත්ත - (මූල්‍ය වාර්තා, පාස්වර්ඩ්, පුද්ගලික තොරතුරු හෝ ඔබට මුලින්ම මතක් වෙන ඡායාරූප සහ වීඩියෝ) -  ඇතුළත් ෆයිල් සදහටම  මකා දැමීමට අවශ්‍ය නම් ඔබ මොකද කරන්නෙ?


Group Blog Home
ඩිලීට් කරනවා?
Recycle bin එකත් clear කරනවා?

නැත්නම්,
Shift + Delete ගහලා permanently delete කරනවා? 

ඒත් මදිනම්,
File එක තිබුණ disk එක format කරලා දානවා?

එතකොට හරිද?
ඒ ඇතිද?




ඒත්,
ඔබ දන්නවද ෆයිල් එකක් මකා දැමුවත් එය ඇත්තටම ඔබේ හාඩ් ඩිස්ක් එකෙන් ඉවත් නොවී එලෙසම පවතින බව?



ඔබට නිතර නිතර ඇසීමට ලැබෙන යම් යම් අයගේ පුද්ගලික දත්ත වෙනත් අය අතට පත්වීම, සරල භාෂාවෙන් කිව්වොත් "LEAK කරගැනීම" සිදු වෙන්නේ ඒවා හොරෙන් ලබාගන්නා අයගේ තියෙන විශේෂ පරිගණක තාක්ෂණය පිළිබඳ හැකියාවක් නිසා නෙවෙයි. 

එවැනි දත්ත මකා දමන අයගේ නොදැනුවත් කම සහ අපරීක්ෂාකාරී බව නිසයි!


එතකොට ෆයිල් එකක් delete කළාම මොකක්ද වෙන්නෙ?


Recycle bin එකට යැව්වොත්
සාමාන්‍යයෙන් ඔබ ෆයිල් එකක් ඩිලීට් කළාම ඒක යන්නෙ Recycle Bin එකට. (මෙහෙයුම් පද්ධතිය අනුව Trash එක වෙන්න පුලුවන්). මේ විදියට ඔබ ෆයිල් එකක් මකා දැමූවිට ඔ‍බේ Recycle bin අයිකන් එක වෙනස් වෙලා පෙන්වයි ඔබ විසින් මකා දැමූ ෆයිල් එහි තිබෙන බව. අවශ්‍ය නම් නැවත ඒවා restore කරගත හැකි බවත් ඔබ දන්නවා ඇති. ඒ වගේම Recycle bin එක තුළ Files තියෙන තුරු ඒවා ඔබේ Hard disk එකෙන් ඉඩ ප්‍රමාණයක් පාවිච්චි කරනවා. Recycle bin එක clear කළොත් ඒ ඉඩ ප්‍රමාණය නැවත හිස් (Free) බවට එහෙමත් නැත්නම් වෙනත් Files සඳහා available space එකක් බවට පත් වෙනවා.


Recycle bin එක clear කළොත්
Recycle bin එක clear කළොත්, එහෙමත් නැත්නම් Shift + Delete වගේ permanent ක්‍රමයකට මකා දැමුවොත්, හෝ සාමාන්‍ය format කිරීමක් කළොත්, ඔබට ඒ ෆයිල් වෙත නැවත පිවිසීමේ හැකියාව නැති වෙනවා.


 ඉතින් එහෙනම් හරිනේ!

නෑ. පිවිසීමේ හැකියාව නැති වෙනවා කියන ‍එකෙන් අදහස් වෙන්නෙ නෑ ෆයිල්ස් එහි නැති බව!
ඔය පහුගිය කාලෙ සමහර ගම් වලට පිවිසීම අවහිර කළාට, Lock down කළාට, ඒවයෙ ජීවත් වුණ මිනිස්සු එහෙමම හිටියනේ, පිටතින් ඇතුළ්වෙන්න විතරයි බැරි වුණේ.

ෆයිල් එකක් මකා දැමීමේදී මෙහෙයුම් පද්ධතිය විසින් කරන්නේ අදාළ ෆයිල් එකට තියෙන reference එක, එහෙමත් නැත්නම් යොමුව ඉවත්  කිරීම පමණයි. මේ නිසා සාමාන්‍ය විදියට ඔබට ඒ  ෆයිල්ස් දැකගන්න ලැබෙන්නෙ නැහැ. ඒ වගේම මැකූ ෆයිල් වලට ගිය ඉඩ ප්‍රමාණය වෙනත් ෆයිල් සඳහ‍ා භාවිතා කිරීමට අවසර ලැබෙන නිසා හිස් ඉඩ ප්‍රමාණයත් වැඩිවී පෙන්වනවා. ඒත් ඒවා එ් විදියටම තවමත් තියෙනවා, වෙනත් ෆයිල් එකකින් overwrite වෙන තුරුම.


ඇයි එහෙම?

ෆයිල් එකක් මකද්දී මේ reference එක ගැලවීම මෙහෙයුම් පද්ධතියකට ඉතා වේගවත්ව කරන්න පුලුවන්, ඒ ෆයිල් වෙනත් විදියකින් overwrite කරලා දානවට වඩා. ඒකයි එහෙම.


ඒ කියන්නෙ ලේසියෙන්ම ඒවා ගන්න පුලුවන්?

ඔව්. ඕනෑ තරම් recovery වැඩසටහන් තියෙනවා. Deleted, Formatted හෝ එතනිනුත් එහාට ගිහින් delete කරපු partition එකක් වුණත් නැවත recover කරලා දත්ත ලබාගැනීමට ඒවා සමත්. 


ඉතින් ඇයි එහෙම අනාරක්ෂිත විදියට මේවා හදලා තියෙන්නෙ?

නැහැ.
එහෙම දෙයක් නැහැ.
අපි කතාකරන "පුද්ගලික දත්ත අනවශ්‍ය පුද්ගලයින් අතට යාම" හැරුණු විට, වැරදීමකින් තමන්ට අවශ්‍ය  ෆයිල් එකක් මැකී ගියොත්, එහෙමත් නැතිනම් මෙහෙයුම් පද්ධතියේ හෝ ඩිස්ක් එකේ දෝෂයක් නිසා ෆයිල් එකකට පිවිසීමට නොහැකි වුණොත් මෙවැනි වැඩසටහන් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඔබට එවැනි අත්දැකීම් ඕනෑතරම් ඇති.

ඉතින් ඒ විදිය තමයි සමාන්‍ය විදිය.
ඉන් එහා විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය අවස්ථා වලදී අපිට ඒ සඳහා විශේෂ ක්‍රම භාවිතා කරන්න පුලුවන්. ඒ ගැන නොදැනුවත් වීම තමයි අනාරක්ෂිත වීමට හේතුව.



කොහොමද Files නැවත ලබාගත නොහැකි විදියට මකන්නෙ?


මැකී ගිය files නැවත ලබාගතහැකි recovery වැඩසටහන් වගේම නැවත ලබාගත නොහැකි ආකාරයෙන් ෆයිල් මකා දැමීම සඳහා shredder වැඩසටහනුත් තියෙනවා.

ඉන් එකක් තමයි,
Eraser.

Secure Erase Files from Hard Drives

මෙම වැඩසටහන ඔබට‍ ERASER වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගතහැකි open source මෘදුකාංගයක්.


තවත් වැඩසටහනක් - එහෙමත් නැත්නම්,
මේ ලිපියෙන් වැඩි දුර කතා කරන්න යන වැඩසටහන තමයි FILE SHREDDER.
ඒ එය භාවිතා කිරීම ඉතා පහසු නිසා.

File Shredder වැඩසටහන install කරලා open කරගත්තට පස්සෙ මේ පහළ තියෙන එහි User interface එක දකින්න පුලුවන්.







මෙහි Add files හෝ Add folder වෙතින් ඔබට මකාදැමීමට අවශ්‍ය Files හෝ Folders තෝරාදිය හැකියි.

එසේ නැතිව,
ඔබට දැනටමත් මකා දමා ඇති files සදහටම ඉවත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා Shred Free Disk Space තෝරා එයින්  අවශ්‍ය partition එක තෝරා දිය හැකියි. 

(මෙහිදී දැනට තිබෙන ෆයිල් වලට කිසිවක් වෙන්නෙ නැහැ. වෙන්නේ හිස් ඉඩ ලෙස පෙන්වන කොටසේ ඉතිරි වී ඇති දැනටමත්ම මකා දමා ඇති ෆයිල් overwrite කිරීම/wipe කිරීම පමණයි).





ෆයිල් overwrite කිරීමට භාවිතා කළ හැකි ක්‍රම කීපයක් මෙහිදී දකින්න පුලුවන්.



මේවායේදී එක් එක් ක්‍රමවේද භාවිතා කෙරෙනවා. පළමු විකල්ප දෙකෙන් ඔබේ Files overwrite කළයුත්තේ එක් වරක්ද දෙවරක්ද යන්න තීරණය කළ හැකියි.
තුන් වැන්න ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදුන් ක්‍රම වේදයක්.

මේ ක්‍රමවේදයන් පිළිබඳව ඔබට අන්තර්ජාලයෙන් වැඩිදුර ‍ තොරතුරු සොයාගන්න පුලුවන්.

එක් එක් ක්‍රමවේදයේදී File overwrite කරන ආකාරය සහ වාර ගණන අනුව ඒ සඳහා ගතවන කාලය වෙනස් වෙනවා.

මකා දැමීමෙන් පසු recovery වැඩසටහනක් භාවිතා කර බලන්න! ඔබට නැවත දත්ත ලබාගැනිමට නොහැකි වෙයි.


Shield, secure, verified, security Free Icon of Vivid

දැන් අවශ්‍ය නොවන ෆයිල් ආරක්ෂිතව මකා දමන්න පුලුවන් නේද?


  • මේ ලිපිය ලියන්න හිතුණේ කලින් කලට අහන්න ලැබෙන සිදුවීම් නිසයි. වෙනත් පුද්ගලික දත්ත වලටත් වඩා පෞද්ගලික ඡායාරූප හා වීඩියෝ සම්බන්ධ සිදුවීම් වැඩි වේගෙන යන බව පේන නිසයි.
  • අනෙක් අතට බොහෝ තැන්වල මැකී ගිය ෆයිල්ස් නැවත ලබාගන්නා හැටි කියා දෙන ලිපි තිබුණත්, එ‍‍සේ ලබාගත නොහැකි ආකාරයට ෆයිල් මකාදමන හැටි කියාදෙන තැන් අල්ප නිසයි. 
  • ඔබට කරන්න පුලුවන් හොඳම දේ තමයි තමන්ට හෝ වෙනත් කෙනෙකුගේ පුද්ලිකත්වයට යම් දිනයක හානියක් වෙන්න පුලුවන් දේවල්/අවස්ථා ඩිජිටල් මාධ්‍යයට නොගෙන ඉන්න එක.
  • එහෙම නොගෙන ඉන්න බැරිවුණානම් ඔබට අවස්ථාව තිබෙනවා එවැනි දේ ආරක්ෂාකාරීව ඉවත් කරන්න.
Getting Attention: The Science of Being Captivating Online ...
  • මතක තියාගන්න,
    • ඔබ ඔබේ යම් උපාංගයක් අලුත්වැඩියා කරගන්නවානම් ඔබ දන්නා, විශ්වාසවන්ත තැනකින් එය කරගන්න. මොකද වෙනත් අය අතට පත්වෙන දේවල් බොහෝවිට සමාජයට මුදාහරින්නේ මේ අලුත්වැඩියා කටයුතු වල නිරතවෙන පිරිසෙන් අතළොස්සක් විසින් නිසා. බහුතරය එහෙම සදාචාරවිරෝධී අය නෙවෙයි. ඒත් ඔබේ ආරක්ෂාව ඔබ සලසාගන්න.
    • ඔබ මෙවැනි උපාංග අලුත්වැඩියා කරන්නෙක් නම්, ඔබේ රැකියාවේ සදාචාරාත්මක බව රැකගන්න. වෙනත් අයගේ පුද්ගලික දත්ත වෙත පිවිසීමෙන් හෝ ඒවා තමන්ගේ උපාංග වෙත රහසින් පිටපත් කිරීමෙන් වැළකී සිටීමට තරම් උසස් විනයක් පවත්වාගන්න. ගැටලුව දෘඪාංග සමබ්න්ධවනම් හාඩ් ඩිස්ක් යනාදිය නැවත ප‍ාරිභෝගිකයා අතට ලබාදීමෙන් විශ්වාසනීයත්වය රැකගන්න. ඔවුන් ඔබට පක්ෂපාතිී පාරිභෝගිකයින් බවට පත්වේවි.
    • ඔබ භාවිතා කරළ පරිගණකයක්/උපාංගයක් වෙනත් කෙනෙකුට විකුණනවානම්, නිසි ක්‍රමවේදයකින් ඔබේ දත්ත නැවත ලබාගත නොහැකි වනසේ මකා දමන්න. ඔබ log in වී ඇති සියලු accounts, බැංකු කාඩි තොරතුරු යනාදිය ඉවත් වන සේ factory reset/format කරන්න.
    • යම්හෙයකින් වෙනත් කෙනෙකුගේ පෞද්ගලිකත්වයට හානි වන දෙයක් සමාජ මාධ්‍ය හෝ පණිවිඩ හුවමාරු වැඩසටහන් හරහා ඔබ අතට පත් වුණොත් ඔබ විසින් නැවත එය තවත් අයට බෙදාහැරීමක් සිදු නොකර සිටීමට වගබලාගන්න.
    • එවැනි ‍දත්ත ඔබ අතට ලැබුණොත් ඒ පිළිබඳව ෆේස්බුක් පෝස්ට් ලියමින්, සබැඳි ඉන්බොක්ස් කරමින් අමනෝඥ ලෙස හැසිරීමට තරම් පහත් තත්ත්වයකට පත් නොවන්න.


දැනුවත් වෙන්න
මිතුරන් දැනුවත් කිරීමට Share කරන්න.
ඔබේ අදහස් පහළින් Comment කරන්න.

No comments