Recent comments

අලුත්ම ලිපි 🡲

English #06 පාඩම - The Simple Past Tense (Part 1)

මේ වෙනකොට ඔයා දන්නවනෙ ඔයා කරන දේවල් ගැන කියන්න. ඒ වගෙම හැමදාම වෙන, වෙනස් නොවෙන දේවල් කියන්න. දැන් අපි ඉගෙන ගන්න යන්නෙ අපි කරපු දේවල් ගැන කතා කරන්නයි. ඒ කියන්නෙ සරල අතීතකාලය ගැන, Simple Past Tense ගැන.

මේ අතීත කාලය ඉස්සෙල්ල අපි ඉගෙනගත්ත වර්තමාන කාලයෙන් වෙනස්වෙන්නෙ එකම එක තැනකින් විතරයි. ඒ තමයි ක්‍රියාපදය. අතීතකාලයෙදි අපි ක්‍රියාපදය අතීත කාලයෙන් තියනවා. ඒ ඇරෙන්න මෙතනදි වෙන පැහැදිලි වෙනසක් නැති තරම්.

සරල වර්තමාන කාලයෙදි වගේ අතීතකාලයෙදි ඒකවචන කර්තෘන් කරන ක්‍රියා වල අගට S ශබ්ද එකතු කරන්න උවමනා නැහැ. නිකංම නිකං අතීත කාල ක්‍රියාපදය දානවා විතරයි කර්තෘ ඒකවචන වුණත් බහුවචන වුණත්. එහෙනම් වැඩේ තවත් ලේසි බව ඔයාට තේරෙනව නේද?

අතීත කාලයෙදිත් අපි ලියන්නෙ අර කලින් ඉගෙනගත්ත වාක්‍ය රටාවටම තමයි.

කර්තෘ + ක්‍රියාව + කර්මය

01. අපි මුලින්ම එක ක්‍රියාපදයක් තියන වාක්‍ය කීපයක් අරගෙන බලමු.


  • මම සරල වර්තමාන කාලය ඉගෙනගත්තා
  • මම ඉගෙනගත්තා සරල වර්තමාන කාලය
  • learnt the Simple Present Tense

  • ඒගොල්ලො රැස්වීම කල්දැම්මා
  • ඒගොල්ලො කල්දැම්මා රැස්වීම
  • They postponed the meeting

මේ වාක්‍ය වලට කාලය අඟවන පද එකතු කරලා අපිට පුලුවන් තවත් අර්ථවත් කරගන්න. මේ කාලය අඟවන පද ලැයිස්තුවත් බලන්නකො.

  1. yesterday - ඊයේ
  2. the day before yesterday - පෙරේදා
  3. two days before yesterday - පළමුදා
  4. this morning -අද උදේ
  5. this evening - අද හවස
  6. tonight - අද රෑ
  7. last morning (yesterday morning) - ඊයෙ උදේ
  8. last evening (yesterday evening) - ඊයෙ හවස
  9. last night (yesterday night) - ඊයෙ රෑ
  10. last week - ගිය සතියෙ
  11. last month - ගිය මාසෙ
  12. last year - ගිය අවුරුද්දෙ
  13. last Monday - ගිය සඳුදා
  14. a few seconds ago - තත්පර කීපයකට ඉහත
  15. a few minutes ago - විනාඩි කීපයකට ඉහත
  16. a few hours ago - පැය කීපයකට ඉහත
  17. a few days ago - දින කීපයකට ඉහත
  18. a few weeks ago - සති කීපයකට ඉහත
  19. a few months ago - මාස කීපයකට ඉහත
  20. a few years ago - වසරර කීපයකට ඉහත
  21. a moment ago - මොහොතකට පෙර
  22. a little while ago - ටිකකට පෙර
  23. a fortnight a go - සති දෙකකට පෙර
  24. four months ago - මාස හතරකට පෙර
  25. two days ago - දින දෙකකට පෙර
  26. at that time - ඒ වෙලාවෙ
  27. at that moment - ඒ මොහොතේ
  28. the whole day - මුලු දවසම
  29. the whole day yesterday - ඊයෙ මුලු දවසම
  30. within two days - දින දෙකක් ඇතුළත
  31. within a fortnight - සති දෙකක් ඇතුළත
  • ඇය සති කීපයකට පෙර ලියුමක් එව්වා
  • ඇය එව්වා ලියුමක් සති කීපයකට පෙර
  • She sent a letter few weeks ago

02. දැන් බලමු ක්‍රියාපද දෙකක් තියෙන වාක්‍ය ලියන හැටි.


මෙතනදිත් අපි අර කලින් ඉගෙනගත් වාක්‍ය රටාවම තමයි තියෙන්නෙ.

කර්තෘ + පළමු ක්‍රියාව + පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව + to +දෙවන  ක්‍රියාවේ මූලික අවස්ථාව දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව

කලින් වගෙම අපි මෙතනදි අතීතකාලයෙන් තියන්නෙ පළමු ක්‍රියාව විතරක්ම බව ඔයා මතක තියාගන්න ඕන. දෙවෙනි ක්‍රියාව ඉස්සෙල්ල වගෙම to එක්ක මූලික අවස්ථාවෙන් තියනවා.

මේ බලන්න.

  • මම ඉංග්‍රීසි ඉගෙනගන්න මෙහෙ ආවා.
  • මම ආවා මෙහෙ to ඉගෙනගන්න ඉංග්‍රීසි
  • came here to learn English

ඉතින් මේ සම්බන්ධ වස්තු (කර්මය) දෙක අනිවාර්යෙන්ම යෙදෙන්න ඕන කියල එකක් නැහැ. ඒක අපි කියන දේ අනුව තමයි වෙනස් වෙන්නෙ. තේරෙනව නේද මම කියනදේ. මේ තියෙන්නෙ පළමු ක්‍රියාවට සම්බන්ධ වස්තුව නැති වෙලාවක්...

  • ඇය රටයන්න තීරණය කළා
  • ඇය තීරණය කළා යන්න රට
  • She decided to go abroad

මේ තව එකක්...

  • ඔහු චිත්‍රපටි බලන්න ගියා
  • ඔහු ගියා to බලන්න චිත්‍රපටි
  • He went to see films

මේ ක්‍රියා පද දෙකටම සම්බන්ධ වස්තුවක් නැති වෙලාවක්...

  • ඔහු බලන්න ගියා
  • ඔහු ගියා to බලන්න
  • He went to see


03. නැත අර්ථයේ වාක්‍ය ගොඩනැගීම

ඒ කියන්නෙ මෙන්න මෙහෙම...

ගියා - ගියෙ නැහැ
ආවා - ආවෙ නැහැ

අපි අතීතකාලයෙදි ලියන හැම ක්‍රියාපදයක්ම අර කලින් Simple Present Tense වලදි ලිව්වා වගේ දෙවැනි ක්‍රමයකට ලියන්න පුලුවන්. අතීත කාලයෙදි අපි ලියන්නෙ උපකාරක Did එක්ක.

ගියා - went - did go
ආවා - came - did come

මෙතනදි අර ඉස්සෙල්ලා වර්තමාන කාලයෙදි වගේ කර්තෘ වර්ග දෙක අනුව වෙනස් වෙන්නෙ නැහැ හොඳද. දෙගෝල්ලන්ටම එකම විදියයි. ලේසියි නේද වැඩේ එතකොට තවත්!

මතක තියාගන්න...Did එක්ක ලියන්නෙ අතීතකාල ක්‍රියාපදය එහෙම නෙවෙයි ඔන්න. දෙවෙනි ක්‍රමයට ලියනකොට Came = did come වෙනවා...

  • මම ගියසතියෙ ආවා
  • මම අවා ගියසතියෙ
  • I came last week
  • I did come last week

මේ වාක්‍යය නැත අර්ථයට හරවන්න කරන්න තියෙන්නෙ මේ Did ට පස්සෙ not දාන එක විතරමයි.

  • මම ගියසතියෙ ආවෙ නැහැ
  • මම අවෙ නැහැ ගියසතියෙ
  • I did not come last week
  • I didn't come last week

නැත අර්ථයේ වාක්‍ය රටාව මේකයි.

කර්තෘ + Did not + ක්‍රියාපදයේ මූලික අවස්ථාව + කර්මය

ඊළඟ පාඩමෙන් අපි බලමු සරල අතීත කාලයේ  ප්‍රශ්න අහන හැටිත්.

No comments