Recent comments

අලුත්ම ලිපි 🡲

ලේසියෙන්ම Animated Charts අඳින්න - FusionCharts ගැන අහලා තියෙනවද!

ඔබ යම් පරිගණක පාඨමාලාවක අවසන් ව්‍යාපෘතියක් සඳහා හෝ වාණිජමය වශයෙන් පරිගණක වැඩසටහන් සම්පාදනය කරනවානම්, කර ඇත්නම්, ඇතැම්විට ඔබට ඔබේ දත්ත වඩාත් ආකර්ෂණීය ආකාරයෙන් තිරය මත ඉදිරිපත් කිරීම සඳහා ප්‍රස්තාර භාවිතා කිරීමට අවශ්‍ය වූවා වියහැකියි. එහිදී ඇතැම්විට ඔබ ඔබේ පරිගණක ක්‍රමලේඛකරණ භාෂාවේ එන Charting tools වල ප්‍රයෝජනය ලබාගන්නටත් ඇති. මේ කියන්නේ Flash, XML සහ HTML ආශ්‍රෙයන් ඉතා ආකර්ෂණීය ප්‍රස්තාර ඉතාමත් පහසුවෙන් සැකසිය හැකි වැඩසටහනක් පිළිබඳවයි. මේ මීට අවුරුදු කීපයකට පෙර මගේ අවසන් ව්‍යාපෘතිය සඳහා .net සමග භාවිතා කළ හැකි Data Visualization Tool එකක් පිළිබඳව සොයා බලද්දී දැනගන්නට ලැබුණු අපූරු වැඩසටහනක් ගැනයි. (හැබැයි මේක .net වලට විතරක් නම් නෙවෙයි).


මෙම වැඩසටහන Fortune 500 සමාගම් අතුරින් 80%ක පමණ භාවිතා කෙරෙන්නක් බවත් සඳහන්. ඒ වගේම දැනට FusionCharts වැඩසටහන රටවල් 118ක පාරිභෝගිකයින් 20,000කුත්, නොමිලේ භාවිතා කරන්නන් 450,000ක් පමණත් සිටිනවා. මේ අතර ඉන්න සමාගම් කීපයක් සඳහන් කළොත්, ලෝකයේ තාක්ෂණික දැවන්තයින් වන ඇපල් සමාගම, සිස්කෝ සමාගම, ෆේස්බුක්, ගූගල්, එච්.පී, අයි.බී.එම්, ඉන්ටෙල්, ලින්ක්ඩ් ඉන්, මයික්‍රොෙසාෆ්ට්, නොකියා, නාසා..... - ඔය ඇති නේද! 




FusionCharts යනු අපේ අසල්වැසි ඉන්දියාවෙන් එන මෙවැනි Data Visualization වැඩසටහනක්. හරියටම කීවොතින් මෙය ඉන්දියාවේ බැන්ගලෝර් සහ කල්කටා නගරයන්හි පිහිටා තිබෙන ඉන්ෆොසොෆ්ට් ග්ලෝබල් පුද්ගලික සමාගම් සමූහයට අයත් මෘදුකාංගයක්. 


FusionCharts වල අතීත කතාව...
 
FusionCharts ආරම්භ වෙන්නේ 2001දි. ඒ එවකට වයස 16ක් වූ පල්ලව් නදනි (Pallav Nadhani) අතින්. ඔහුගේ පැවරුම් සඳහා Microsoft Excel භාවිතයෙන් ප්‍රස්තාර ඇඳීම ගැන ඔහු තුළ එතරම් පැහැදීමක් තිබී නැහැ. මේ අතර ඔහු විසින් ASPToday.com අඩවියේ පළ කළ නිබන්ධනයකින් කියා තිබුණේ එවකට වෙබ් අඩවි බැනර්, පොප්-අප් ඇඩ්ස් සඳහා යොදාගන්නා Macromedia Flash, වාණිජමය හා ව්‍යාපාරික පරිගණක වැඩසටහන් සහ වාර්තා සඳහා ආකර්ෂණීය ප්‍රස්තාර ගොඩනැගීමට යොදාගත හැකි බවයි. මෙම ලිපියෙන් ඔහු ඇමෙරිකානු ඩොලර් 1500ක් උපයාගත් අතර, FusionCharts සංකල්පය සඳහා මූලික අඩිතාලමද සකසාගනු ලැබුවා.




2002 වසරේදී පල්ලව් විසින් ඉන්ෆොසොෆ්ට් ග්ලෝබල් සමාගම පිහිටුවාගනු ලැබුවා. වැඩසටහනේ පළමු සංස්කරණයේදී ඔහු ActionScript යොදාගෙන තැනූ ප්‍රස්තාර වර්ග 6ක් ඉදිරිපත් කළා. වසර තුනක් තිස්සේ තනිවම වැඩකළ පල්ලව්, 2005 පමණ වෙද්දී සේවකයින් 20ක් සමග සමාගම ඉදිරියට ගෙන ආවා. 2009 වනවිට එම සේවක සංඛ්‍යාව 50ක් දක්වා වැඩිවුණා. 2010දී ඇමරිකානු ජනපති බැරැක් ඔබාමා විසින් Federal IT Dashboard සඳහා FusionCharts වලට අනුමැතිය ලබාදීමත් සමගම FusionCharts අන්තර්ජාතික මට්ටමට ළඟා වුණා. (ඔය පහළ පින්තූරයේ FusionCharts දිහා බලාගෙන ඉන්නේ යාලුවා තමයි).



FusionCharts වලින් වැඩ කරනහැටි


මෙම වැඩසටහනේ අත්හදාබැලීමේ සංස්කරණයක් පහතින් ලබාගන්න. (Trial වුණාට කිසිම සීමා පැණවීමක් හෝ Expire වීමක් නැහැ, පැත්තකින් පුංචියට FusionCharts Trial කියලා වැටෙනවා විතරයි).

http://www.fusioncharts.com/download/
මෙම වැඩසටහන භාවිතා කරන ආකාරය පිළිබඳව මෙතැනින් කියවන්න.

FusionCharts භාවිතා කරන ආකාරය ගැන පුංචි උදාහරණයක් දීලා ලිපිය අවසන් කරන්නම්.

කලින් කීවා වගේ FusionCharts වල Charts සැකසෙන්නේ Flash වලින්. මේවා .SWF Files ලෙස ඔබට ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය දත්ත සපයන්නේ XML ෆයිල් එකකින්. ප්‍රස්තාරය පෙන්වීම සඳහා HTML ෆයිල් එකක් භාවිතා කළ හැකියි. (මේ පහළ තියෙන Charts ෆෝල්ඩරය තුළ මගේ swf file එක තිබෙනවා)



ප්‍රස්තාරයට දත්ත සපයන XML File එක


ප්‍රස්තාරය පෙන්වන HTML File එක



වෙබ් බ්‍රව්සරය තුළ ප්‍රස්තාරය පෙනෙන ආකාරය (ඔබට පරිගණක වැඩසටහන තුළද පෙන්විය හැකියි).



මේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස් පහතින් කමෙන්ට් කරන්න.

No comments