Recent comments

අලුත්ම ලිපි 🡲

ඔබේ හැසිරීම සම්මතද! අසම්මතද!!


Facebook පිළිබඳව නොදන්නා අයෙකු සොයාගැනීම අපහසුය. ෆේස්බුක් භාවිතා කරන අය සේම, භාවිතා නොකළත් අඩු තරමින් ප්‍රවෘත්ති සහ පුවත්පත් හරහා හෝ ෆේස්බුක් අපරාධ, අකටයුතුකම් ගැන අසා නැත්තෙක් නැත. Facebook හරහා ජනතාවට ඔවුන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමටත්, වෙනත් අයගේ දෑසින් ලෝකය දැකීමටත්,  ලොව කොතැනක සිටියත් එකිනෙකා හා සම්බන්ධ වීමටත්, විවිධ දෑ බෙදාහදා ගැනීමටත් පහසුකම් සලසාදෙන බව අප කවුරුත් දනිමු. Facebook තුළ ඇතිවන සංවාද, ඒවායේදී පළ කෙරෙන අදහස් යනාදියෙන් ෆේස්බුක් සාමාජිකයින්ගේ විවිධත්වය මනාව පිළිබිඹුවේ.


අතථ්‍ය (
virtual) සමාජයක් ලෙස සැලකිය හැකි Facebook තුළද, සමාජ සම්මතයන් තිබේ! සමස්ත සාමාජික ප්‍රජාවට අහිතකර නොවන පරිදි තම හැසිරීම පවත්වාගැනීම සඳහා මෙම සම්මතයන් පිළිබඳව සියලුම සාමාජිකයින් දැනුවත් කර තිබෙන අතර, ෆේස්බුක් සාමාජිකත්වය ලබාගැනීමෙන් ඔබ ඒවාට අනුකූලව හැසිරෙන බවටත්, උල්ලංඝනය වීමකදී පමුණුවන දඬුවම් වලට ඔබ යටත් වන බවටත් එහිදී අපේක්ෂා කෙරේ! මේ පිළිබඳව ඔබ දැනුවත්ද! ඔබේ හැසිරීම සම්මතද! අසම්මතද!

නොදන්නා අයට Friend Requests යැවීම හේතුවෙන් ඔබේ මිතුරු ඉල්ලීම් වාරණයට ලක් කෙරෙන්නේ, එය  “අයුතු බලපෑම් සහ හිරිහැර“ ගණයට ගැනෙන නිසා බව ඔබ දැන නොසිටියා විය හැකියි!

සමස්ත ලෝක ෆේස්බුක් ජනගහනයේ අවශ්‍යතාවන් සහ රුචි අරුචිකම් සමබර කරවීම සඳහා, Facebook ආයතනය විසින් පහත සඳහන් අවස්ථාවන් සහ අදහස් පළකිරීම් සඳහා යම් යම් සීමා පණවා තිබේ. මෙම සීමාවන් උල්ලංඝනය කෙරෙන අවස්ථාවකදී ඒ පිළිබඳව ෆේස්බුක් ආයතනය වෙත පැමිණිලි කිරීමට (Report) ඕනෑම සාමාජිකයෙකුට හැකිවන අතර, එම පැමිණිල්ල සලකා බලා අදාළ පළකිරීම හෝ සම්පූර්ණ Timeline එකක්ම වුවද මකා දැමීමට ඔවුන් (බොහෝ විට පැමිණීල්ලෙන් දෙදිනක් ඇතුළත) ක්‍රියා කරනු ඇති.

ඇතැම් විට ඔබ මේ සීමාවන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැතිව සිටියා විය හැකියි. පහත සඳහන් තොරතුරු ඔබට ෆේස්බුක් තුළදී සම්මත සහ අසම්මත ක්‍රියාකාරකම්, අදහස් දැක්වීම් සහ පළ කිරීම් පිළිබඳව අවබෝධයක් ලබාදෙනු ඇති.





ද්වේශ සහගත ප්‍රකාශ

Facebook තුළ ද්වේශ සහගත ප්‍රකාශ හෝ පළකිරීම් සඳහා අවසරයක් නැත. (එහෙත් වැදගත් සහ හාස්‍යජනක ප්‍රකාශ වලින් වෙන්කර හඳුනාගැනේ). අදහස්, ආයතන, ක්‍රියාකාරකම් යනාදිය අභියෝගයට ලක් කිරීමේ නිදහස තිබුණද, ජාතිය, ජනවර්ගය, සම්භවය, ආගම, ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂභාවය, ආබාධිත තත්ත්වයන්, සොඛ්‍ය තත්ත්වයන් යනාදිය ඉලක්ක කරමින් පහරදීම තහනම්ය. එවැනි පළකිරීම් පිළිබඳව පැමිණිලි කළ හැකිය.


ප්‍රචණ්ඩත්වය හා තර්ජන

ආරක්ෂාව Facebook හි පළමු ප්‍රමුඛතාවයයි. මහජන ආරක්ෂාවට ඍජුව තර්ජනයක් වන හෝ භෞතිකමය වශයෙන් හානි පැමිණවිය හැකි ආකාරයේ පළකිරීම් හඳුනාගැනීමෙන් පසු ෆේස්බුක් තුළින් ඉවත් කෙරෙන අතර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ගද ගැනෙනු ඇති. ඔබට අන් අයට තර්ජනය කිරීමට හෝ සැබෑ සමාජයේ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ, විප්ලව ෆේස්බුක් හරහා සංවිධානය කිරීමට හෝ අයිතියක් නැත. ත්‍රස්තවාදී සංවිධාන වලට ෆේස්බුක් තුළ පිටු, සමූහ හෝ වෙනත් ක්‍රියාකාරකම් සඳහා ඉඩක් නැත. එසේම වෙනත්   පාර්ශ්වයකට මූල්‍යමය පාඩු ගෙනදෙන/ගෙනදිය හැකි ක්‍රියාකාරකම් සංවිධානය කිරීමද සැමරීමද තහනම්ය. 



(ස්ව) පුද්ගල හානි



ෆේස්බුක් විසින් මත් ද්‍රව්‍ය ඇබ්බැහිය, ස්ව-අංග ඡේදනය වැනි පුද්ගලයින් විසින් තමන්ට සිදුකරගන්නා හානි පිළිබඳව දැඩි අවධානයක් යොමු කරයි. එවැනි දෑ සඳහා පෙළඹවීම් කෙරෙන පළකිරීම් සඳහා ඉඩක් ෆේස්බුක් තුළ ලැබෙන්නේ නැත. එසේම ලොව වටා ඇති සියදිවි නසාගැනීම් වැළැක්වීම හා සම්බන්ධ ආයතන සමග එකතුවී, මානසික පීඩනවලින් පෙළෙන පුද්ගලයින් සඳහා උපදේශන සේවා සැපයීමටද ඔවුන් කටයුතු කරයි.




අයුතු බලපෑම් සහ හිරිහැර

ගැටලු සහ පුද්ගලයින් පිළිබඳව කතා කිරීමේ නිදහස තිබුණත්, පුද්ගලයින් වෙත කෙරෙන අපයෝජන ස්වරූපයේ ක්‍රියාකාරකම් පිළිබඳව කෙරෙන සියලු පැමිණිලි සලකා බැලේ.  වෙනත් සාමාජිකයින්ට නැවත නැවතත් අනවශ්‍ය Friend Requests යැවීමද හිරිහැර ගණයට ගැනේ. එවන් අවස්ථාවලදී ඔබ වාරණයට ලක් වන්නේ එබැවිනි.




සේයාරූ සහ සලරූ

සාමාජිකයින්ට ෆේස්බුක් තුළ ඡායාරූප සහ වීඩියෝ පළ කළ හැකිවුවද, අනුන්ට හානියක් වන පීඩාකාරී ඡායාරූප පළකිරීම තහනම්ය. 


නිරුවත් සහ අශ්ලීල පළකිරීම්

Facebook නිරුවත් සහ අශ්ලීල සේයාරූ සහ වීඩියෝ පළකිරීම් පිළිබඳව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. නිරුවත ප්‍රදර්ශනය කළහැකි ප්‍රමාණයන් සඳහාද සීමා තිබේ. එහෙත් දරුවෙකුට කිරි දීම, ප්‍රතිමා, කලා නිර්මාණ වැනි තමන්ට වැදගත් යැයි සිතෙන දෑ පළකිරීමට බාධාවක් නැත. අශ්ලීල පළ කිරීමක් පිළිබඳව පැමිණිල්ලක් සනාථ වුවහොත් සම්පූර්ණ Timeline එකම ඉවත් කෙරේ.



අනන්‍යතාවය සහ පෞද්ගලිකත්වය

Facebook තුළ සාමාජිකයින් සම්බන්ධ වන්නේ ඔවුන්ගේ සත්‍ය නම් සහ අනන්‍යතාවයන් තුළින් යැයි අපේක්ෂා කෙරේ. එබැවින් වෙනත් පුද්ගලයින්ගේ පුද්ගලික තොරතුරු, ඔවුන්ගේ අනුදැනුමකින් තොරව පළකිරීම තහනම්ය. එසේම වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනීසිටීම, සත්‍ය ලෙස නොපවතින ආයතන නිර්මාණය කිරීම සහ එක් පුද්ගලයෙකු ගිණුම් කීපයක් භාවිතාකිරීම (Fake Profiles) යනාදියද ෆේස්බුක් තුළ තහනම්ය.  


බුද්ධිමය දේපළ

ඔබ යමක් පළකිරීමට පෙර, ඔබට ඒ සඳහා අයිතියක් ඇති බවට තහවුරු කරගන්න. ස්වාධිකාර, වෙළඳ ලකුණු සහ වෙනත් නීතිමය අයිතීන් පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඇතැම් අවස්ථාවලදී විවිධ වීඩියෝ පළකිරීමේදී, වෙනත් අයෙකුට අයත් ගීත යනාදිය නැවත නැවත පළ කිරීම නිසා,  සාමාජිකයින්ගේ වීඩියෝ පළකිරීමේ හැකියාව වාරණය කෙරෙන්නේ ස්වාධිකාර උල්ලංඝනය කිරීම් හේතුවෙනි.


පිෂිං සහ ස්පෑම්

ෆේස්බුක් ආයතනය තම සාමාජිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්, ඔවුන්ගේ පුද්ගලිකත්වයට හෝ ආරක්ෂාවට තර්ජනයක් වන තෙවන පාර්ශ්වයක උත්සාහයන් ව්‍යර්ථ කිරීමට කටයුතු කරයි. වාණිජ අරමුණු උදෙසා, ඒ සඳහා උවමනාවක් නැති වෙනත් සාමාජිකයින් අනවශ්‍ය/ කරදරකාරී ආකාරයෙන් තොරතුරු යවා සම්බන්ධ කරගැනීමද තහනම්ය.


ආරක්ෂාව

වංචා, මුළා කිරීම්ද ඇතුළත්ව සාමාජිකයින්ගේ පුද්ගලිකත්වයට හෝ ආරක්ෂාවට සිදුවන තර්ජන වැළැක්වීමට ෆේස්බුක් ආයතනය කටයුතු කරයි. ඊට අමතරව, ඉහත සඳහන් කළා සේ වෙනත් සාමාජිකයෙකුගේ අවශ්‍යතාවයක් නැතිව වාණිජ අරමුණු සඳහා ඔවුන් අයුතු ලෙස සම්බන්ධ කරගැනීමද අනුමත නොකෙරේ. 



අපභාවිතයන් පිළිබඳව Report කිරීම

ඔබ ෆේස්බුක් තුළදී ඉහත සඳහන් සම්මතයන් උල්ලංඝනය වන යමක් දුටුවහොත් එය අදාල තේමාවන් යටතේ Report කරන්න. රිපෝට් කළ පමණින් එය ෆේස්බුක් තුළින් අනිවාර්යෙන්ම ඉවත් කෙරෙනවා යැයි කියා දෙයක්ද නැත. එහෙත් ඔබ කරන රිපෝට් කිරීම් පිළිබඳ සත්‍ය අසත්‍යතාවය විමසා බලා අවශ්‍ය පියවර ගැනෙනු ඇති.



විවිධ සංස්කෘතීන්ට අයත් විශාල පිරිසක් එකතු වන තැනක, ඔබේ සංස්කෘතික සීමාවන්ට අනුව ඔබට එකඟවිය නොහැකිදේ හෝ ඔබට අනවශ්‍ය යැයි හැඟෙනදේ ඇතැම්විට මෙම කරුණු වලින් ආවරණය නොවී තිබීමටද ඉඩ ඇත. එහිදී ඔබට සලසාදී ඇති පුද්ගලයින්, පිටු සහ ඇප්ස් Block කිරීම වැනි පුද්ගලික සීමා පැනවීම් භාවිතා කර ඔබට දර්ශනය විය යුතු හෝ දර්ශනය නොවිය යුතු දේ තීරණය කළ හැකියි.  


No comments